යෝනා

පරිච්ඡේදය: 1 2 3 4


පරිච්ඡේදය 4

1 නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය.
2 ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: අනේ ස්වාමීන්වහන්ස, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.
3 ඉතින්, ස්වාමීන්වහන්ස , මාගේ ප්‍රාණය මාගෙන් තුරන්කරගත මැනව; ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.
4 නුමුත් ස්වාමීන්වහන්සේ: කෝපවෙන්ට නුඹට යුතුදැයි කීසේක.
5 යෝනා නුවරින් පිටතට ගොස්, නුවරට නැගෙනහිරෙන් ඉඳගත්තේය, ඔහු එහි පැලක් සාදාගෙන නුවරට මක්වේද කියා බලන පිණිස ඒක යට සෙවණෙහි හිඳගත්තේ.
6 දෙවිවූ ස්වාමීන්වහන්සේ ලබු වැලක් නියමකර, යෝනා ඔහුගේ දුකින් මුදන්ට ඔහුගේ හිසට උඩින් සෙවණක් වීමට ඒක ඔහුට උඩින් යන්ට සැලැස්සූසේක. යෝනා ලබුවැල ගැන ඉතා ප්‍රීතිවුණේය.
7 එහෙත් පසුවදා පහන්වූ විට දෙවියන්වහන්සේ පණුවෙකු නියමකළසේක, ඌ ලබුවැල කෑ විට ඒක වියළී ගියේය.
8 තවද ඉර උදාවූ කල දෙවියන්වහන්සේ ග්‍රීෂ්මය ඇති පෙරදිග හුළඟක් නියමකළසේක; අව්ව යෝනාගේ ඉසට වැදී, ඔහු ක්ලාන්තවී, තමාගේ ප්‍රාණය හානිවෙන ලෙස ඉල්ලා: ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.
9 ලබුවැල ගැන කෝපවෙන්ට නුඹට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය.
10 එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ මාන්සිවීමක්වත් වැවීමක්වත් නැතුව රාත්‍රියකින් හටගෙන රාත්‍රියකින් නැතිවීගිය ලබුවැල කෙරෙහි නුඹ අනුකම්පාකෙළෙහිය.
11 එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.