සැපයුම


  • ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.
    ගීතාවලිය 23:1
  • තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.
    ගීතාවලිය 34:10
  • මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.
    ගීතාවලිය 37:25
  • දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. -
    ගීතාවලිය 68:19
  • මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. ඔබේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.
    ගීතාවලිය 81:10
  • මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක. -
    ගීතාවලිය 84:11
  • සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක. ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.
    ගීතාවලිය 145:15,16
  • ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.
    හිතෝපදේශ 13:25
  • නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය. නුඹලා අකමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේක.
    යෙසායා 1:19, 20
  • මම ඔවුන් සහ මාගේ කන්ද වටකර ඉඩම් ආශීර්වාදයක් කරන්නෙමි; වැස්ස නියම කාලයට වස්වන්නෙමි; ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත.
    එසකියෙල් 34:26
  • මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ලකනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ලකන්නහුය. එහෙත්: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුදැයි නුඹලා අසන්නහුය. ඔතුවලින් සහ එසවීම් පූජාවලිනුත්ය. ශාපය නුඹලා පිටට පැමිණ තිබේ; මක්නිසාද නුඹලා, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය. මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
    මලාකි 3:8-10
  • එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක.
    ශු. මතෙව් 6:8
  • නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
    ශු. මතෙව් 7:7,8
  • මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද?
    ශු. මතෙව් 7:11
  • තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.
    ශු. මතෙව් 21:22
  • උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය.
    ශු. ලූක් 22:35
  • එසේම ශුභාරංචිය ප්‍රකාශකරන්නන් විසින් ශුභාරංචිය කරණකොටගෙන ජීවිකාව ලබන්ට ස්වාමීන්වහන්සේ නියෝගකළසේක.
    1 කොරින්ති - 9:14
  • මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම සම්පූර්ණකරනසේක.
    පිලිප්පි 4:19
  • මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.
    1 තිමෝති 6:10
  • තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නදේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව.
    1 ශු. යොහන් 3:22
  • උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
    1 ශු. යොහන් 5:14,15