] නීතිමය කටයුතු


  • බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් උස්සනසේක. ... සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති.
    යෙසායා 40:15,17
  • නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය. සැබවක් නුඹට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු නුඹ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය.
    ශු. මතෙව් 5:25-26
  • ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත. නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය.
    ශු. මතෙව් 10:18,19
  • ඔවුන් කපර්ණවුමට ආ කල ෂෙකෙල්* භාගය අයකරන්නෝ පේතෘස් ළඟට ඇවිත්: නුඹලාගේ ආචාරීන්වහන්සේ ෂෙකෙල්* භාගය නොගෙවනසේක්දැයි කීවෝය. (* දේවමාළිගාවට ගෙවියයුතු බද්ද) ගෙවනසේකැයි ඔහු කීවේය. ඔහු ගෙට ආ කල යේසුස්වහන්සේ පළමුවෙන් ඔහුට කථාකොට: සීමොන්, නුඹ හිතන්නේ මොකද? පොළොවේ රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නොහොත් අන්‍යයන්ගෙන්දැයි කීසේක. අන්‍යයන්ගෙන්යයි ඔහු කී කල යේසුස්වහන්සේ කථාකොට: එසේ නම් පුත්‍රයෝ නිදහස්ය. නුමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස, නුඹ මුහුදට ගොස් බිළියක් බා, පළමුකොට අසුවෙන මත්ස්‍යයා ගන්න; උගේ කට හැරිය කල ෂෙකෙලයක් සම්බවන්නේය. ඒක ගෙන මා සහ නුඹ උදෙසා ඔවුන්ට දෙන්නැයි කීසේක.
    ශු. මතෙව් 17:24-27
  • එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? කායිසර්ට ආදායම් දීම යුතුද අයුතුද කියා අපට කිව මැනවයි කීවෝය. නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද? ආදායම් මිලය මට පෙන්වන්නැයි කීසේක. ඔව්හු මස්සක් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. මේ රූපයත් සටහනත් කාගේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ: එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි ඔවුන්ට කීසේක.
    ශු. මතෙව් 22:17-21
  • තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි. සියල්ලෝ ලියවෙන්ට තම තමුන්ගේ නුවරවලට ගියෝය. යෝසෙප්ද දාවිත්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින්, තමාට විවාහබස් දුන් ගර්භිණීව සිටි මරියා සමඟ ලියවෙන්ට, ගලීලයෙහිවූ නාසරෙත් නුවරින් පිටත්ව යුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවරට ගියේය.
    ශු. ලූක් 2:1-5
  • නුඹ මට කථාකරන්නේ නැද්ද? නුඹ මුදාහරින්ට බලයද නුඹ කුරුසියෙහි ඇණගසන්ට බලයද මට ඇති බව නුඹ දන්නේ නැද්දැයි පිලාත් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.
    ශු. යොහන් 19:10,11
  • හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ. එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය. මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ. මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය. එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය. එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන්වහන්සේගේ සේවකයෝය. එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.
    රෝම 13:1-7
  • එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.
    රෝම 13:8
  • මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති.
    1 කොරින්ති 16:9
  • නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න. උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙන්න.
    1 පේතෘස් 2:12-14