යෝබ්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


පරිච්ඡේදය 2

නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය.
2 එවිට ස්වාමීන්වහන්සේ: ඔබ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආයෙමියි කීවේය.
3 එවිට ස්වාමීන්වහන්සේ: ඔබ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට ඔබ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක.
4 සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
5 නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය.
6 එවිට ස්වාමීන්වහන්සේ: බලව, ඔහු ඔබ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරන්නැයි සාතන්ට කීසේක.
7 සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.
8 ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය.
9 එවිට ඔහුගේ භාර්යාව: ඔබේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය.
10 එහෙත් ඔහු ඈට කථාකොට: ඔබ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත. මිත්‍රයන් තුන්දෙනාගේ පැමිණීම
11 යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.
12 ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.
13 මෙසේ ඔව්හු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමඟ බිම හිඳගන උන්නෝය, කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔව්හු දුටුවෝය.