යෝබ්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


පරිච්ඡේදය 6

එවිට යෝබ් උත්තරදෙමින් මෙසේ කීවේය:
2 අනේ මාගේ ශෝකය කිරා බලන්ටත් මාගේ මුළු විපත්තිය තරාදිවල දමන්ටත් යෙදුණොත් යහපත!
3 එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බරවන්නේය. එබැවින් මාගේ වචන අනුවණව තිබුණේය.
4 මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.
5 තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද?
6 රස නැති දේ ලුණු නැතුව කනවාද? නොහොත් බිත්තර සුදු මදයේ රසක් ඇද්ද?
7 මාගේ ආත්මය ඒවාට අතගසන්ට අකැමැතිය; ඒවා මට පිළිකුල් ආහාර මෙන්ය.
8 අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!
9 එනම් දෙවියන්වහන්සේ මා පොඩිකරදමන්ට සතුටුවී, ස්වකීය හස්තිය දිඟුකොට මා සිඳ දමනසේක්වා!
10 එසේ මට නැවත සැනසීම වන්නේය; මමද මා ඉතුරු නොකරන වේදනාවට ප්‍රීතිමත් වන්නෙමි. මක්නිසාද මම ශුද්ධ තැනැන්වහන්සේගේ වචන එපා නොකෙළෙමි.
11 මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද?
12 මාගේ ශක්තිය ගල්වල ශක්තියද? නොහොත් මාගේ මාංසය පිත්තලද?
13 මාගේ උපකාරය මා තුළෙහි නැතිවී, පිහිට මාගෙන් සහමුලින් පහව ගියා නොවේද?
14 ක්ලාන්තවෙන්ට ළංව සිටින අයට තම මිත්‍රයාගෙන් කරුණාව ලැබිය යුතුය; නොලැබුණොත්, ඔහු සර්වපරාක්‍රමයාණන් කෙරෙහි භයවීම අත්හරින්නේය,
15 මාගේ සහෝදරයෝ ඔයක් මෙන්ද පහවී යන ඔයවල දිය පාරවල් මෙන්ද රැවටිලි ලෙස ක්‍රියාකළෝය.
16 ඒවා හිම කැටිවලින් කළුපාට වන්නේය, හිම ඒවායෙහි නොපෙනී යන්නේය.
17 ඒවා උණුවූ කල නොපෙනී යන්නේය. ග්‍රීෂ්මවෙනවිට ඒවායේ ස්ථානයෙන් හිදී යන්නේය.
18 ඒවායේ මාර්ගවල යන ගමන්කාර හමුදාවෝ අහකට හැරී, කාන්තාරයට ගොස් විනාශ වන්නෝය.
19 තේමාහි ගමන්කාර හමුදාවෝ ඒවා ගැන බලා සිටියෝය, ෂෙබාහි සමූහයෝ ඒවා බලාපොරොත්තුවුණෝය.
20 ඔව්හු බලාපොරොත්තුව සිට ලජ්ජාවට පත්වුණෝය; ඔව්හු එතැනට පැමිණ වියවුල්වූවෝය.
21 එලෙසම දැන් ඔබ සැම හිස්කම වුණාහුය; ඔබ සැම භයංකරකමක් දැක භයවී ඉන්නහුය.
22 මට යමක් දෙන්න කියාවත්, ඔබ සැමගේ දෙයින් මා උදෙසා තෑග්ගක් දෙන්නය කියාවත්,
23 එදිරිකාරයාගේ අතින් මා ගළවා ගන්නය කියාවත්, පීඩාකරන්නන්ගේ අතින් මා මුදන්නය කියාවත් මම කීයෙම්ද?
24 මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.
25 අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් ඔබ සැමගේ අවවාදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?
26 බලාපොරොත්තුවක් නැත්තාගේ කීම සුළඟට යද්දී ඔබ සැම වචනවලට තරවටුකරන්ට සිතන්නහුද?
27 එසේය, ඔබ සැම පියා නැත්තා ගැන පවා පසඇට දමා, ඔබ සැමගේ මිත්‍රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.
28 ඉතින් කරුණාකර මා දෙස බලන්න; ඔබ සැමගේ මුහුණ ඉදිරියෙහිම මම බොරුකියම්ද?
29 ඉතින් හැරෙන්න, කිසි අයුත්තක් සිද්ධ නොවේවා; එසේය, හැරෙන්න, මාගේ කාරණය සාධාරණය.
30 මාගේ දිවෙහි අයුක්තියක් තිබේද? මාගේ රසේන්ද්‍රියයට නපුරු දේ දැනගන්ට බැරිද?