යෙසායා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66


පරිච්ඡේදය 35

වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්ය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.
2 සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොත්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.
3 බෙලහීන අත් බලවත්කර, වෙවුලන දණහිස් සවිකරන්න.
4 භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
5 එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය.
6 එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.
7 මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය.
8 එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත.
9 සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය.
10 ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.