යෙසායා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66


පරිච්ඡේදය 56

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.
2 මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.
3 ස්වාමීන්වහන්සේට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.
4 මක්නිසාද මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
5 එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.
6 ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,
7 මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.
8 පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ : ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.
9 වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.
10 ඔහුගේ මුරකාරයන් සියල්ලෝම අන්ධව, දැනගැන්ම නැතුව සිටිති; සියල්ලෝම බුරන්ට බැරි ගොළු බල්ලෝය; ඔව්හු හීන දකිති, ලැග හිඳිති, නිදා ඉන්ට කැමැත්තෝය.
11 එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.
12 ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.