එළිදරව්ව

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22


පරිච්ඡේදය 10

තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;
2 ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පස මුහුද පිටද වම්පස කොඩබිම පිටද තබා,
3 සිංහයෙකු ගොරවන්නාක්මෙන් මහත් ශබ්දයකින් මොරගැසුවේය.
4 ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වුවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රාකරන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය.
5 මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටිනවා මා විසින් දුටුවාවූ දේවදූතයා ස්වර්ගය දෙසට තමාගේ දකුණත ඔසවා:
6 සදාකාලේටම ජීවත්වන්නාවූ, ස්වර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද,
7 සත්වෙනි දේවදූතයාගේ ශබ්දකිරීමේ දවස්වලදී, ඔහු පිඹින්ට යන කල, දෙවියන්හන්සේ තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශකළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණවී තිබේය කියාද කීවේය.
8 ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමඟ කථාකරමින්: නුඹ ගොස්, මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටින දේවදූතයාගේ අතේ දිග ඇරලා තිබෙන පොත අරගන්නැයි මට කීවේය.
9 මමද දේවදූතයා වෙතට ගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගන කන්න, ඒක නුඹේ බඩ තික්ත කරන්නේ, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේයයි මට කීවේය.
10 එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මාගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය.
11 තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.