එළිදරව්ව

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22


පරිච්ඡේදය 18

ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය.
2 ඔහු බලවත් හඬකින් මොරගසා: මහා බබිලෝනිය වැටුණාය, වැටුණාය, ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍රවූ පිළිකුල්වූ පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය.
3 මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.
4 තවද: මාගේ සෙනෙඟනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය.
5 මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහිකළසේක.
6 ඈ දුන් ලෙස ඈට ප්‍රතිඵල දී, ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍රකරදුන් කුසලානෙහි දෙපංගුවක් මිශ්‍රකර ඈට දෙන්න.
7 ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.
8 එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.
9 ඈ සමඟ වේශ්‍යාකම්කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින් දුරින් සිට:
10 අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුනේයයි කියමින් ඈ ගැන අඬා විලාප කියති.
11 පොළොවේ වෙළෙන්දෝද කිසිවෙක් ඔවුන්ගේ වෙළඳාම් බඩු නොගන්න බැවින් ඈ ගැන අඬා ශෝකවෙති. ඒ බඩු නම්:
12 රන් රිදී බඩුද අනර්ඝ ගල්ද මුතුද සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද; සියලු ආකාර සුවඳ ලීද සියලු ඇත්දත් භාජනද ඉතා අනර්ඝ ලීයෙන් පිත්තෙලන් යකඩින් සහ කිරිගරුඬවලින් සෑදූ සියලු ආකාර භාජනද;
13 කුරුඳුද කුළු බඩුද සුගන්ධ ද්‍රව්‍යද තෛලද කට්ටකුමංචල්ද මුද්‍රිකපානයද තෙල්ද සිහින් පිටිද ධාන්‍යද ගවයන්ද බැටළුවන්ද; අශ්වයන් සහ රථද වහලුන්ද මනුෂ්‍යයන්ගේ ප්‍රාණද යන මේවාය.
14 නුඹේ ආත්මය ආශාකළ ඵල නුඹ කෙරෙන් පහව ගියේය, ශෝභනවූ ඉසුරුමත්වූ සියල්ල නුඹ කෙරෙන් විනාශවිය, මනුෂ්‍යයන්ට ඒවා තවත් සම්බ නොවේ.
15 ඈ කරණකොටගෙන පොහොසත්වූ මේ බඩු වෙළෙන්දෝ ඈ විඳින වධයට භයව, අඬමින් වැලපෙමින්, දුරින් සිට:
16 අහෝ, අහෝ, මහත් නුවර, සිහින් රෙදිද රත්නිල් සහ රක්ත වස්ත්‍රද පැළඳ රනින්ද අනර්ඝ මැණික් සහ මුතුවලින්ද සැරසුණාවු නුවර!
17 එක පැයකින් එපමණ මහත් ධනය නැතිවී ගියේයයි කියති. සියලු නැව් මුලාදෑනිවරුද යම් තැනකට යාත්‍රාකරන්නෝද නාවිකයෝද මුහදේ වැඩපළ කරන සියල්ලෝද දුරින් සිට, ඇගේ දැවීමේ දුම බලා:
18 මේ මහත් නුවරට සමාන නුවර කොයි එකදැයි කියමින් මොරගැසුවෝය.
19 ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත් වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය.
20 ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීතිවෙන්න; මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චයකළසේක.
21 තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.
22 වීණාකාරයන්ගේද තූර්යනාද පවත්වන්නන්ගේද නළාකාරයන්ගේද හොරණෑකාරයන්ගේද හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය; කොයි ආකාර කර්මාන්තකාරයෙක්වත් නුඹ තුළ තවත් සම්බ නොවන්නේය; ඇඹරුම් ගලේ හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය;
23 පහනක එළිය නුඹ තුළ තවත් නොබැබළෙන්නේය; මනමාලයාගේවත් මනමාලීගේවත් හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද නුඹේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; නුඹේ මායමින්ද සියලු ජාතීහු රුවටුණෝය;
24 ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරණලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවුණේයයි කීවේය.