ගීතාවලිය 101

කරුණාවද යුක්තියද ගැන ගී කියන්නෙමි. ස්වාමිනි, ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
2 නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි.
3 මාගේ ඇස් හමුයෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නූරුස්සමි; එය මට නොඇලෙන්නේය.
4 මුරණ්ඩු සිතක් මා කෙරෙන් දුරුවන්නේය. නපුරු දෙයක් දැන නොගන්නෙමි.
5 යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.
6 දේශයේ විශ්වාසකටයුතු අය මා සමඟ වසන පිණිස ඔවුන් කෙරෙහි මාගේ ඇස් යොමා තිබෙන්නේය. නිර්දෝෂ මාර්ගයෙක්හි හැසිරෙන තැනැත්තේම මට මෙහෙකරන්නේය.
7 වංචාකරන කිසිවෙක් මාගේ ගෙයි නොවසන්නේය; බොරුකියන කිසිවෙක් මාගේ ඇස් හමුයෙහි පිහිටුවනු නොලබන්නේය.
8 අයුතුකම් කරන සියල්ලන් ස්වාමීන්ගේ නුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි.