ගීතාවලිය 96

ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්.
2 ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
3 උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
4 මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය.
5 මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
6 ගෞරවයත් මහිමතාවත් උන්වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිය.
7 මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමීන්ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන්ට දෙව්.
8 ස්වාමීන්ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්.
9 ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.
10 ස්වාමීන්වහන්සේ රජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්.
11 ආකාශය සන්තෝෂවේවා, පොළොව ප්‍රීතිවේවා; මුහුදත් එහි පූර්ණකමත් ගර්ජනාකෙරෙත්වා;
12 කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නේය.
13 මක්නිසාද උන්වහන්සේ එනසේක; පොළොව විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චයකරනසේක.