ගීතාවලිය 61

දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව.
2 මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව.
3 මක්නිසාද ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක.
4 මම ඔබගේ මණ්ඩපයෙහි සදාකල් වාසයකරන්නෙමි. ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
5 මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.
6 ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක. ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය.
7 ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව.
8 එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.