ගීතාවලිය 20

විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔබට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ උසස්කෙරේවා;
2 ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවනසේක්වා, සියොන්හි සිට ඔබ ශක්තිමත් කරනසේක්වා;
3 ඔබේ පූජා සියල්ල සිහිකරනසේක්වා, ඔබේ දවන පූජාව පිළිගන්නාසේක්වා;
4 ඔබේ සිතේ ආශාව ලෙස ඔබට දෙනසේක්වා, ඔබේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.
5 ඔබේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව. ස්වාමීන්වහන්සේ ඔබේ සියලු ඉල්ලීම් ඉෂ්ටකරනසේක්වා.
6 ස්වාමීන්වහන්සේ තමන් අභිෂේකලත් තැනැත්තා ගළවන බව දැන් දනිමි; උන්වහන්සේ තමන් ශුද්ධවූ ස්වර්ගයේ සිට, තමන් දකුණතේ ගැළවීමේ ශක්තියෙන් ඔහුට උත්තරදෙනසේක.
7 සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
8 ඔව්හු නැමී වැටී සිටිති. නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව.
9 ස්වාමිනි, ගැළවුව. මැනව. අප හඬගසන කල රජ්ජුරුවෝ අපට උත්තරදෙනසේක්වා.