ගීතාවලිය 88

මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.
2 මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව.
3 මක්නිසාද මාගේ ආත්මය දුකින් පිරී තිබේ, මාගේ ප්‍රාණය ෂෙයෝලට ළංවේ.
4 වළට බසින්නන් සමඟ ගණන්ගනු ලබමි, පිහිටක් නැති කෙනෙකු මෙන් වෙමි.
5 ඔබ විසින් තවත් සිහිනොකරන්නාවූ, ඔබගේ අත කෙරෙන් පහව ගියාවූ, මරනාලදුව මිනීවළේ නිදනවුන් මෙන්, මළවුන් අතරේ හරිනාලද්දෙමි.
6 ඔබ ඉතා ගැඹුරු වළෙහි අඳුරු තැන්වලත් ගැඹුරු තැන්වලත් මා තැබූසේක.
7 ඔබගේ උදහස මා පිට බරවේ, ඔබගේ සියලු රැළවලින් ඔබ මට පීඩා කළසේක.
8 මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි.
9 පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ. ස්වාමිනි, දවස්පතා ඔබට යාච්ඤා කෙළෙමි, ඔබ දෙසට මාගේ අත් දිගුකෙළෙමි.
10 ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද? මළාහු නැගිට ඔබට ප්‍රශංසාකරන්නෝද?
11 ඔබගේ කරුණාගුණය මිනීවළේදීත් ඔබගේ විශ්වාසකම විනාශස්ථානයෙහිදීත් ප්‍රකාශකරනු ලබන්නේද?
12 ඔබගේ ආශ්චර්යයෝ අඳුරේදීත් ඔබගේ ධර්මිෂ්ඨකම මතක් නොවෙන දේශයේදීත් දන්වනු ලබන්නේද?
13 එහෙත් ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; උදය මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණෙන්නේය.
14 ස්වාමිනි, කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද? කුමට ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා ගන්නාසේක්ද?
15 බාල වයසේ පටන් මම පීඩිතව මරණාසන්නවෙමි. ඔබගෙන් පැමිණෙන භීති විඳින කල විකලවෙමි.
16 ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය.
17 ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය; එකට රැස්ව මා වටකෙළේය.
18 ප්‍රේමකරන්නාත් මිත්‍රයාත් ඔබ මා කෙරෙන් දුරුකොට, මා අඳුනන්නන් අඳුරෙහි හෙළූසේක.