ගීතාවලිය 142

මාගේ ශබ්දය නගා ස්වාමීන්ට මොරගසමි; ස්වාමීන්ට මාගේ ශබ්දය නගා කන්නලව් කරමි.
2 මාගේ විලාපය උන්වහන්සේ ඉදිරියෙහි වගුරුවමි; උන්වහන්සේ ඉදිරියෙහි මාගේ දුක පෙන්වා සිටිමි.
3 මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවූ කල ඔබ මාගේ මාවත දැනගත් සේක. මා ගමන්කරන මාර්ගයෙහි ඔව්හු මට මලපතක් සඟවා තැබුවෝය.
4 මාගේ දකුණතට ඇස් හෙළා බැලුව මැනව; මක්නිසාද මා අඳුනන කිසිවෙක් නැත්තේය. මට රක්ෂාස්ථානයත් නැතිවිය; කිසිවෙක් මාගේ ප්‍රාණය ගැන සලකන්නේ නැත.
5 ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; ඔබ මාගේ රක්ෂාස්ථානයත් ජීවතුන්ගේ දේශයෙහි මාගේ කොටසත්යයි කීයෙමි.
6 මාගේ මොරගැසීමට කන්දුන මැනව; මක්නිසාද මම ඉතා පහත්කරනු ලැබීමි. මට පීඩාකරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය.
7 මා විසින් ඔබගේ නාමයට ස්තුතිකරන පිණිස මාගේ ආත්මය හිරගෙයින් මිදුව මැනව. ඔබ මට යහපත්කම්කරන බැවින් ධර්මිෂ්ඨයෝ මා පිරිවරාගන්නෝය.