ගීතාවලිය 13

ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද?
2 කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද?
3 මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.
4 නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය; මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්‍රීතිවන්නෝය.
5 එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි; මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය.
6 ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.