ගීතාවලිය 110

ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් ඔබේ සතුරන් ඔබේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක
2 ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවනසේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩුකළ මැනව.
3 ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.
4 ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන්වහන්සේ දිවුළසේක; එය වෙනස් නොකරනසේක.
5 ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක.
6 උන්වහන්සේ ජාතීන් අතරෙහි විනිශ්චයකරනසේක, මළකඳන්වලින් දේශයන් පුරවමින්, බොහෝ රටවල අධිපතීන් ගසාහෙළනසේක.
7 උන්වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානයකරනසේක; එබැවින් හිස ඔසවනසේක.