ගීතාවලිය 57

දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
2 මහෝත්තමවූ දෙවියන්වහන්සේට, එනම් මට සියලු දේ කරදෙන්නාවූ දෙවියන්වහන්සේට හඬගසන්නෙමි.
3 මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.
4 මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.
5 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.
6 ඔව්හු මාගේ පාදවලට දැලක් එළූය; මාගේ ආත්මය අවනතව තිබේ. ඔව්හු මා ඉදිරියේ වළක් හෑරුවෝය; තුමූම ඒ මැදට වැටුණෝය.
7 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය, මාගේ සිත ස්ථිරය. මම ගීතිකාකරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
8 මාගේ ගෞරවය පිබිදෙව; කුඩා වීණාවත් මහ වීණාවත් පිබිදෙව්. මමත් ඉතා අලුයම පුබුදින්නෙමි.
9 ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි; ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
10 මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ.
11 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.