ගීතාවලිය 121

කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?
2 මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය.
3 උන්වහන්සේ ඔබේ පය සෙලවෙන්ට නොදෙනසේක. ඔබ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක.
4 බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය.
5 ස්වාමීන්වහන්සේ ඔබ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් ඔබට සෙවණය.
6 දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් ඔබට පහර නොදෙන්නේය.
7 ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් ඔබ ආරක්ෂාකරනසේක. ඔබේ ප්‍රාණය ආරක්ෂාකරනසේක.
8 දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ ඔබේ යාම ඊම ආරක්ෂාකරනසේක.