ගීතාවලිය 46

දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.
2 එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්,
3 එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව.
4 ගංගාවක් ඇත, එහි දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ නුවර ප්‍රීතිමත්කරයි.
5 දෙවියන්වහන්සේ ඒ මැද සිටිනසේක; එය නොසෙල්වන්නේය. දෙවියන්වහන්සේ අලුයම්හිම එයට උපකාරකරනසේක.
6 ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.
7 සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.
8 එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්.
9 උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
10 නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
11 සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.