ගීතාවලිය 28

ස්වාමිනි, ඔබට හඬගසන්නෙමි; මාගේ පර්වතයාණෙනි මට කන් නොදී නොසිටිය මැනව. ඔබ නිශ්ශබ්දවූසේක්නම්, වළට බසින්නන් හා සමාන වන්නෙමි.
2 මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
3 තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද. නොදැමුව මැනව.
4 ඔවුන්ගේ ක්‍රියාව හැටියටත් හැසිරීම්වල දුෂ්ටකම හැටියටත් ඔවුන්ට විපාක දුන මැනව. ඔවුන් අතින් කළ ක්‍රියා ලෙස ඔවුන්ට කළ මැනව; ඔවුන්ට සුදුසුලෙස ප්‍රතිඵල දුනමැනව.
5 ඔවුන් ස්වාමීන්ගේ ක්‍රියා හෝ උන්වහන්සේගේ හස්තකර්ම හෝ නොසලකන බැවින් උන්වහන්සේ ඔවුන් බිඳ දමනසේක, ගොඩ නොනගනසේක.
6 ස්වාමීන්ට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
7 ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
8 ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.
9 ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව. ඔවුන් පෝෂණයකරමින්, සදාකල්ම ඉසුලුව මැනව.