ගීතාවලිය 58

බලවන්තයෙනි, සැබවින් ඔබ සැම යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, ඔබ සැම අවංක ලෙස විනිශ්චයකරවුද?
2 එසේය, ඔබ සැම සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි ඔබ සැමගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.
3 දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.
4 ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය. ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය;
5 මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.
6 දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.
7 ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා. උන්වහන්සේ 58:7 නොහොත්-ඔහු තමාගේ ඊගස් යොදන කල ඒවා සිඳිනු ලැබුවාක් මෙන් වෙත්වා. තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා.
8 දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
9 ඔබ සැමගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිහුළඟකින් පහ කරනසේක.
10 පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.
11 එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය.