ගීතාවලිය 42

දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.
2 දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ. මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනෙම්ද?
3 ඔබේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය.
4 මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි.
5 එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.
6 මාගේ දෙවියන්වහන්ස, මාගේ ආත්මය මා තුළෙහි මලානිකවෙයි. එබැවින් යොර්දාන් දේශයෙත් හෙර්මොන් කඳුවලත් මිශාර් කන්දෙත් සිට ඔබ සිහිකරමි.
7 ඔබගේ ජලධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬගසයි. ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසාගත්තෝය.
8 එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය.
9 ඔබ කුමට මා සිහිනැතිකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්දැ යි මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේට කියන්නෙමි.
10 මාගේ එදිරිකාරයෝ: ඔබේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.
11 එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.